Skip to main content

ඉමෙල්ඩා, සුගත් සහ ලංකාවෙන් අරාබි යන පළඟැටියෝ

 දැනට කැනඩාවේ ටොරොන්ටෝ නුවර ජීවත්වන පුවත්පත් සහෘදයෙකු වූ සෝමසිරි මුණසිංහ ලියූ ඔහුගේ පළමු නවකථාව වන ඉමෙල්ඩා කියවීමට මට ඉඩක් ලැබුණේ ජනමාධ්‍ය රැකියාව කරන්නට ගොස් මාරයා තුන්වැනි වරටත් මගේ කරට අත තැබීමෙන් ලද ඉස්පාසුවෙනි.

බළධාරීන් රූපවාහානීවල අරක්ගෙන කුමන බයිලා ගැසුවත් කෝවිඩි සමාජගතවී අවසානය. මට එය බෝවූවේ කෙසේද? ඔවුන් කියන කිසිදු පොකුරකට මාගේ සම්බන්ධයක් නැත. මම ගියානම් දැනට වැඩ කරන රේඩියෝ කන්තෝරුවට පමණි.

1986 මැදින් මාසයේ දවසක මම ඩේලි නිවුස් කතෘමණ්ඩලයට බැඳෙන විටත් සෝමසිරි මුණසිංහ (සෝමා) එහි සේවය කරමින් සිටියේය. අද මෙන් නොව එකල ඩේලි නිවුස් හා ඔබ්සර්ව පත‍්‍රවල සිටි කතෘමණ්ඩල සාමාජිකයින් බොහෝ දෙනා මැදි වයස පසුකළවුන් වූ අතර කිසිවෙකු කතෘ මණ්ඩලය තුළ සිංහල කථා නොකළේය. කොළඹ පදිංචි කරුවන් වූ ඔවුන් බොහෝ දෙනෙකුට තිබුණේ සිල්වා, පෙරේරා සහ පීරිස් වැනි ක‍්‍රිස්තියානි හා ජෑන්ස්, කුක් සහ කුල්මෙයාර් වැනි බර්ග වාසගම්ය. ඉන් පරිභාහිර ආගන්තුකයෙකු එහි සේවයට ගත්තේනම් එය හුදෙක් අහඹුවක් පමණි.

කෙසේ වුවද මෙමකළු සුද්දන් සිංහල කථා නොකර තම රාජකාරිය ඉටුකර ගැනීමට නොහැකි තැනක් තිබිණ. පත්තර පිටු සැකසුම් අංශයයි. එහි සේවය කරන්නන් බොහෝ දෙනාද කොළඹ හා අවට ප‍්‍රසිද්ධ පාසල්වල උගත් අය වුවත් වැඩි දුර අධ්‍යාපනයක් නොලද හෙයින් හෝ ඉංග‍්‍රීසි වහකදුරු වීමෙන් එවැනි රැකියාවක නිරතවීමට සිදුවන්නට ඇත.

මා මෙහිදී වික්ශිප්තවූයේ කතෘ මණ්ඩලයේ දී කළු සුද්දන් සමඟ උරෙනුර ගැටෙන සෝමා අමු සිංහල කථාකරමින් එහි සේවකයන් සමඟ උසුළු විසුළු කරමින් කුළුපගව කටයුතු කරනු දැකීමෙනි. යම් ආගන්තුකයින් පිරිසක් මැද තනිවී කොන්වී රැකියාව කිරීමට සිදුවේයැයි සිතූ මට සෝමාගේ හමුවීම අස්වැසිල්ලක් විය. කෙසේ වුවත් ඔහු මා මෙන් පිටිසර ගමකින් එහි පැමිණ ඇති බව දැනගත්තේ දශක තුනකට පසු ඔහුගේ මෙම කෘතියේ පෙරවදන කියවීමෙන් පසුවය.

වසර 35 පෙර එහිදී මා දුටු සෝමාගේ හීන් හාස්‍යය ගැබ්වුන භාෂා විලාසය ඔහුගේ ඉමෙල්ඩා නවකථාව පුරා අපූරුවට යොදාගෙන ඇත. එපමණක් නොව ඔහුගේ කථාවේ මුල් භාගය මෙරට 70, 80 හා 90 දශකවල ජීවත්වූ ගම්බද තරුණ තරුණියන්ගේ ඛේදවාචකයයි. එය සෝමා උපන් බලංගොඩ හා මා උපන් වරකාපොල මෙන්ම අනෙකුත් ග‍්‍රාමීය තරුණ කොටස්වල කථාවයි. අපට විශ්වාස කරන්නැයි කියන නිදහසින් පසු මෙරට අවාසනාවන්තම පරම්පරාවන් බිහිවූ දශක තුනේ කථාවයි. එබැවින් සෝමාගේ ඉමෙල්ඩා එකී පරම්පරා තුනක වින්දිතයින් අතීතානුස්මෘතිය කරා කැඳවාගෙන යන අතර ඉන් පසු පරම්පාරවන්ට එවැනි තිත්ත ඉතිහාසයක් මේ රටේ පැවැති බව විදහා දැක්වීමට කතෘවරයා සමත්ව ඇත.

කතෘවරයා පවසන අයුරු මෙරට විප්ලව බොහෝ සිදුව ඇත. නිදහස් උත්සවයදා ගිරිය පුප්පා වීර කැප්පෙටිපොල, ගොන්ගාලෙගොඩ බණ්ඩා සහ හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමි ආදී යටත් විජිතවාදීන්ට එරෙහි අවිගත් වීරයින් ගැන කථා කරන පටු දේශපාලකයෝ, දහස් ගණන් වටිනා රෙදිපිළි ඇඳ උන්ගේ සුඛෝපභෝගී බිරින්දෑවරුන් සමඟ කෝටි ගණන් වටිනා රජයේ වාහනවල පැමිණ හමුදා ආචාර ලබා ස්වයං වින්දයක් ලැබ ආපසු ගොස් පෙර පරිදිම රට උලා කන වැඩ පටන් ගනිති. ආර් ථිකය කඩාවැටී ජනතාව එදා ලෙසම අත ලෙවකමින් පණ ගැට ගසා ගන්නා ක‍්‍රමයේ වෙනසක් නැත.

විජේවීර තම මනෝරාජ්‍ය තැනීමට සන්නද්ධ අරගල දෙකක් කළේය. දෙකම අසමත්වී අසූ දහසක් තරුණ ජීවිත ඝාතණය කිරීමේ වගකීමෙන් ඔහුට ගැලවිය නොහැක. එමෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායකගේ පස් අවුරුදු සැලස්ම ආර් ථික විප්ලවයක් යැයි උදම් ඇනුවද හාල් පොලූ, මිරිස් පොලූ දමා ජනතාව බඩගින්නේ තැබීය. පිරබාහරන් 28 අවුරුද්දක් හමුදාව සමග ගැටී දෙමළ පරම්පරා තුනක් සහ සිංහල ජීවිත රැසක් නැති කළේය. මේ සියල්ල මැද කවුරු කෙසේ කීවද ජේ.ආර්. ගේ විවෘත ආර් ථිකය විප්ලවය සාගින්නෙන් හා විරැකියාවෙන් බැටකෑ තරුණ තරුණියනට ඇඟලූම් කම්හල්වල වැඩකර හෝ කීයක් හරි උපයාගෙන කොන්දේ ඇලී තිබුණ බඩ පොත්ත යළි ගලවා ගැනීමට උපකාර නොවුයේයැයි කිසිවෙකුට තර් කළ හැකිද? එහෙත් ගතානුගතික වාමාංශික ඔස්තාර් ලා අදත් ක‍්‍රමයට දොස් නගමින් සුද්දාට බණිමින් තම දූ දරුවන් පමණක් සුද්දන්ගේ රටවලට පටවන්නට දත  නියවති. ඉමෙල්ඩා පිළිබඹු කරන්නේ මේ ඛේදවාචකයේ වින්දිතයන් ගැනයි.

සුද්දාගෙන් නිදහස බන්දේසියේ තබා ලබාගත් යූඇන්පී කාරයන්, බලය, තාත්තාගෙන් පුතාට අතිනත යවන අයරු නොරිස්සූ බණ්ඩාරනායක එවකට පැවැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයුධ භාවිතා කර බහුතර බලය එක්කාසු කළේය. පංච මහා බලවේගය සටන් පාඨය කොට සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ජනතා හදවතට ඇමක් දැම්මේය. සිංහල භාෂාව රජයේ භාෂාව කළේය. විප්ලවය ජයගත්තේ බණ්ඩාරනායක අගමැතිවීමෙනි. රාජ්‍ය බලය මෙතෙක් සිංහල දේශපාලකයින් සමඟ හවුලේ පරිහරණය කළ චෙල්වනායගම් වැනි දෙමළ නායකයින් තම කොටස අහිමිවීමේ සාංකාවෙන් ජාතිවාදය සහ බෙදුම් වාදය නමැති ආයුධ පිරබාහරන් වැනි පීඩිතයින් අතට පත්කොට බලලූන් ලවා කොස්ඇට  බෑවීමට සැලසුවේ එය පාරා වළල්ලක් වෙතැයි කිසිවිටෙක නොසිතාය.  මේවා විප්ලව ?

මේ රැවටිල්ල මෙන්ම ඉන් පසු සියලූවිප්ලවරටට හා ජනතාවට විනාශය ගෙන ආවේය. කෙසේදැයි මෙම කෘතියේ සිද්ධි එකිනෙක ඈඳාලමින් අපූරුවට විස්තර කර තිබේ. මෙහි වින්දිතයන් වූ එම බහුතරය කානු පණවන් සේ අදටත් එම නරා වළේ දුක් විඳිති. චන්දයක් පැමිණි විගස ගෝනි පඩංගුවට රිංගා පැන්සල් කොටෙන්අපි තොපිට කෙළියාට කමක් නැතිදයන ප‍්‍රශ්නයට කතිරයක් ගසා අනුමැතිය දී එති. එහෙත් අපි දන්නා පරිදි කතිරයක් වැටෙන්නේ වැරදි උත්තරයටය. සර්වජන ජන්දය සුද්දාගේ සොයා ගැනීමකි. උංගේ හැමදේම වැරදියට භාවිතා කරන අපේ දේශපාඥයින් වැරදි ලකුණට අර්ථ ගන්වන්නේ ජනතාව උන්ට අවසර දෙන්නේඅපිට කෙළියාට කමක් නෑ තොපිම හැදියව්ලෙසය. අපට උසස් පෙළ ආර් ථික විද්‍යාව ඉගැන්වූ චන්ද්‍රසිරි සර් පැවසුවේ ඒකඋංගෙ අම්මාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්යනුවෙනි.

මේ සදාතනික ඛේදවාචකය පසුගිය අවුරුදු 73 පුරාම සිදුවූයේය. අදත් හෙටත් එහි වෙනසක් නැත. එම බේදවාචකය වෙනස් වෙනස් මුහුණුවරින් අඩු වැඩි වශයෙන් ලංකාව පුරා විවිධ ප‍්‍රදේශවල සිදුවේ. සෝමසිරි මුණසිංහ තම නව කථාවේ විද්‍යාමාන කරන්නේ එය ඔහුගේ ගම් ප‍්‍රදේශය වූ බලංගොඩ උඩ ඇල්ලේපොල ක‍්‍රියාත්මක වූ ආකාරයයි.

ඉමෙල්ඩා වේදිකාවට එන්නේ කථාවේ දෙවෙනි භාගයේ දීය.  

එය, මේ හැල හැප්පීම් වලින් පැන ගොස් වැලි කතරේ කහවනු සොයන මිනිසුන්ගේ ඉරණමයි ඉන් චිත‍්‍රණය කර ඇත්තේ. එය ලංකාවට පමණක් නොව අනෙකුත් අසංවර් ධිත රටවල යෞවනයේ ඛේවාචකයයි. සමාජ සංස්කෘතික කම්පනයකට මුහුණ දෙමින් ඔවුන් කරන්නේද විප්ලවයකි. එහෙත් එහි අවසානය වන්නේ බොහෝ දෙන එකී සංකරවූ අච්චාරු සංස්කෘතීන්ට ගොදුරුවී අයාලේ ගොස් තුන්බිය කරා ලඟාවීමයි. මෙම වෘත්තාන්තයේ කථානායකයා වන සුගත් අයත් වන්නේ එම ඉරණමයි.

එදිරිවීර සරත්චන්ද්‍ර මහාචාර්යවරයාගේ මළගිය ඇත්තෝ කෘතියේ දෙවෙන්දොරා සං මෙන් මෙහි සුගත් එමීර් රාජ්‍යයේ දී ඔහුට හමුවන පිලිපීන ජාතීන්ගේ සිරිත් විරිත් කෑමබීම ආදිය ගැන මනා විස්තරයක් කරයි. විශේෂයෙන් ඔහුට සමීපවන පිලිපීන ජාතිකයින් ගේ තහංචි නැති ඔවුන්ගේ ජීවන රටාව මොනවට විස්තර කරයි. කතෘවරයා මැදපෙරදිග සේවය කළ කාලය තුළ ලද අත්දැකීම් ඊට පිටිවහලක් වන්නට ඇත.

ඩුබායි වැනි මුස්ලිම් රටවල වුවද අදෘශ්‍යමාන ලෝක පිළිබඳ කතුවරයාගේ දැනුම හා දැක්ම පාඨකයාට පෙර සූදානමක් සදහා මනා පසුබිමක් සකසයි. මුස්ලිම් රටකදී ප‍්‍රසිද්ධියේ කාන්තාවක් දෙස බැලීම පවා සිර ගෙදරක මාස 6වත් තැපීමට තරම් වරදක් වුව මෙම අදෘශ්‍යමාන ලෝකයේ අනියම් ලිංගික සබඳතා, ගණිකා වෘත්තිය, රා අරක්කු පෙරීම හා බීම ජයට සිදුවේ. එමෙන්ම අපේ රටේ වුව ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබෙන මත් කුඩු ජාවාරම්ද යස අපරුවට මේ රටවල සිදුවේ. මෑතක වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත් මාකඳුරේ මදුෂ් ඊට හොඳම උදාහරණයයි.

ඉමෙල්ඩාහි සුගත් අවංක ගැමි වාමාංශිකයෙකුගේ පුතෙක් ලෙස පිටිසර ගමකින් අරාබි රටකට ගොස් බහු ලිංගික මායාවේ පැටලී තමා ගේ දූත මෙහෙවර අමතකව වැලි කතරේ අතරමං වූවෙකි.

තම දූ දරුවනට වඩා පක්ෂය මුල්කොට සලකන මෙරට බොහෝ අවංක වාමංශීකයින්ගේ දරුවන් අයාලේ යන සේම සුගත් පරදේශයකදී අයාලේ ගියේය. වරක් අප පුවත්පතේ කතෘ පදවියට පත් ප‍්‍රබල වාමාංශිකයෙකුවූ ජයතිලකද සිල්වා පැවසුවේ තමාගේ අත්විඳීමට අනුව බොහෝ වමේ නායකයින් කුහකයින් බවයි. එනම් පාලිතයින්ගේ දරුවන්ට ඉංග‍්‍රීසි වහකදුරු කර ගමේ ඉස්කොලේ යන්නට බලකරමින් තම දූ දරුවන් බටහිර රටවලට යවා උසස් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කිරීමයි.

සුගත් යනු අනංගයෙකිි. මේ කාලෙ වචන වලින් නම් පැණියෙකි. ගෑණු ඔහුගේ කඩවසම් පෙනුමට හා මී පැණි වචනවලට රැවටිණි. ඔහු මෙරට සිටියදීම යුද්ධයෙන් මියගිය අය්යාගේ බිරිඳ සමඟ සංසර්ගයේ යෙදේ. කනවැන්දුම් තරුණියකගේ ආශාවන් තෘප්තිමත් කිරීම ලිංගික සූරාකෑමක් . ඔහු අවංක හා කැපකිරීම් කරන්නෙක් නම් ඇයගේ ආශාවන් සංසිඳුවා ඇගේ දරුවා බලාගෙන රබර් කට්ටියක් කපාගෙන ඉස්පාසුවේ සතුටින් ඉන්නට තිබිණ. පිරිමියෙකු නොමැති ගෙදර අසනීප වූ පියා සහ මහලූ අම්මා තරුණ නංගීද හැර මැදපෙරදිග යන්නේ ජීවත්වීමට ක‍්‍රමයක් නැති නිසාම නොව බොහෝ දෙනෙකු සොයනත්රිලසොයා විය යුතුය. එහිදීද ඔහු මංමුලාවූ විවිධ කාන්තා ආශ‍්‍රයට වැටී විනාශ මුඛයට යයි. සෝමා මේ විස්තර කරන්නේ අප රටින් එහි යන්නවුන්ගේ සැබෑ ඉරණමයි.  

පළමු කොටසට වඩා දෙවෙනි කොටසේ අප සංස්කෘතියේ ප‍්‍රසිද්ධියේ කථා කිරීමට අකමැති ලිංගික සබඳතා බොහෝ ඇති හෙයින් මෙහිදී එය වැඩිහිටි නවකථාවක් ලෙස සැලකේ යැයි මට සිතේ. එය ලිංගිකත්වය අලෙවි කිරීමක් ලෙස මම නොකියමි. මක් නිසාද කතෘවරයයා තම භාෂාව පරහරණය කරන්නේ මනා සංයමයකිනි. මනුෂ්‍ය සංසර්ගයක් කථා මාලාවක එක් පරිච්චේදයක්  නම් එය මඟහැරීම එම කථාන්තරයේ සාහිත්‍ය ගුණයට හා නිදහසේ ගලායාමට යම් හානියක් ගෙනදිය හැකිය. පන්සිය පනස් ජාතකයේ වුවද එබඳු සිද්ධීන් පාඨකයාට මනාව අවබෝධ කර ගැනීමට හැකි ලෙස සභ්‍ය භාෂාවෙන් මොනවට පැහැදි කර ඇත. ඒවා කුණුහරුප නොවේ. අපි කුණුහරුප යැයි කථා කිරීමට හෝ ලිවීමට මැලිවන  ඕනෑම සිද්ධියක් සභ්‍ය භාෂාවෙන් ලියන්නේ කෙසේදැයි පන්සිය පනස් ජාතකයේ එන නලිනි ජාතකය උදාහරණ දෙයි. මෙම කෘතිය ලිවීමේ දී කතෘවරයා එහි ආභාශය ලබා ඇතැයි සිතේ.

කථා නායිකාව වන ඉමෙල්ඩා මරණයට පත්වන්නේ කාන්තාරයේ විනෝද චාරිකාවකට ගොස් සිටින අතර අපට ආගන්තුක වුවත් එහි ඇතිවන හදිසි ගංවතුරකට අසුවීමෙනි. ඇගේ අනියම් පෙම්වතා සුගත් ඊට වගකිවයුත්තා යැයි කථාවේ සඳහන් නුවූවත් ඔහු දිගින් දිගටම සම්බන්ධව පශ්චාත්තාපයට පත්වීම පරස්පරතාවයකි.

එමෙන්ම අප රටේ පැවැති දෙමළ සිංහල ගැටුම්, ඊළාම් යුද්ධය, දේශපාලන හා සමාජ පරිවර්ථන ගැන සඳහන් කරන විට ඒවායේ කාල පරාසයන්හි පරස්පරතා දැකීමට ඇත. මැදපෙරදිග සේවය කරන බොහෝ දෙනෙකු දෙබිඩි ජීවිත ගත කරති. එය සාධාරණී කරණය කිරීමට ඔවුනට ඇතිතරම් හේතු තිබේ. මෙහි එන ලංකාවේ සුගත්, පිලිපීනයේ ඉමෙල්ඩා සහ ඇගේ සැමියා ලෙස හඳුන්වාදෙන ජෙරම්; අප‍්‍රිකාවේ රොහානා මේ සියලූ දෙනා මහ සයුර මැද රුවල් බිඳුන බෝට්ටුවක අතරමංවුවෝ වෙති.  

පිටු 374 පුරා දිවෙන කථාව එක දිගට කියවාගෙන යා හැකි වුවත් එය ප‍්‍රකාශන දෙකක් ලෙස මුද්‍රණයෙන් පිට කළේ නම් කියවීමට මෙන්ම මිලට ගැනීමට පහසුය. එහෙත් කතෘ තම සිතේ කැකෑරුණ අත්දැකීම් හා අත් විදීම් සමුදායක් එක හුස්මට වමාරා හිත සැහැල්ලූ කර ගනී. ඉතිං සෝමාට දොස් පැවරිය හැකියැ.

සෝමසිරි මුනසිංහ කැනඩාවේදී මියගිය පුවතක් දුටුවෙමි එහි සත්‍යතාව තහවුරු කරගැනීමට නොහැකිය එසේ වී ඇත්නම් සෝම ඔබට සුභ ගමන් ! 

Comments

Popular posts from this blog

For content writing, editing and Sworn translations for print, electronic and social media - contact Senior Editor Lionel Yodhasinghe -  0711562642.
Wellstone Action for progressive politics Critical issues by Lionel Yodhasinghe East West Centre of the University of Hawaii in Honolulu awarded this year's Jefferson Fellowship Spring Program to Sunday Observer Senior Journalist Lionel Yodhasinghe. Following is the second in a series of his study notes on his visit to the United States of America. After the tragic death of US Senator Paul Wellstone who plane-crashed along with his wife Shiela and daughter Marcia during an election campaign in the North Star state of Minnesota, his two sons did not intend to erect statues throughout the state nor did they succeed him and grab his power bases. Instead, they chose to continue the parental legacy by imparting the progressive policies and ideologies in the minds of upcoming leaders thereby propagating Wellstone vision for a better American society. Progressive politics is the driving force of human and material ...